Wednesday, October 31, 2012

එහිතට ඇමතුවෙමි

ඇයට ලියමනක් ලියන්නට මට හිත් වුනා. එසෙමෙස් එකකට එහා කතාවක් කියන්න ඕන නිසා මං කඩදාසියක් හෙව්වා. ජුලියා මතක්වෙද්දි මගේ හිත කිව්වෙම ලා කොළ පාට. ඒත් නිල් කඩදාසියක් අවසානයේ සියල්ල සපුරන්න බිම ඉඳන් මං දිහා බලං හිටියා. ඉඩ මදි වෙයිදත් මන්දා... කතාව කෙටි කරන්න මම හිතාගත්තා. ලියන්න හිතුවා පේළි ටිකක්.. තාමත් කඩදාසිය මං දිහා බලාගෙන.. අන්තිමට මං ලිව්ව... ජුලියාට. මං ආසම ගෑනිට ආදරෙන්..


උඹ මගේ දිහාට සිගරට්ටෙක දික්කළා.
මං ආසාවෙන් උඹට ගින්දර ඇල්ලුව.
අසම්මතේට උඹ හදිසියේ බය වුනා.
උඹ වගේ නිදහස් ගෑනියෙක් සිගරට් බිව්වට මොකද?
උඹ සිගරට්ටෙක අහක‍ට ගත්ත.
මං තාමත් ගින්දර අල්ලගෙන.
උඹ හිතුව ගින්න නිවෙයි කියල.
ඒත් උඹට අවුලපු ගින්න තාම කෙළිං.
උඹට බය හිතුන.
උඹ සිගරට් බොන්න හිතපු විත්තිය උන්ට දැනෙයි කියල.
උඹ ගින්න නිවන්න හැදුව.
ඒත් තාම උඹට අවුලපු ගින්න කෙළිං.
උඹ තරහ වුනා.
උඹට ගින්න නිවන්න බැරිකමට.
උඹේ බැරිකමට ගින්න මක්කොරන්නද?
උඹේ බැරිකමට මං මක්කොරන්නද?
උඹට අවුලපු ගින්න තාම කෙළිං.

ඇත්තම කිව්වොත් කරදහියෙ ලිව්ව කතාව මට උඹට එසෙමෙස් එකකින් එවන්න බය හිතුන. මං ඒක වීරය වගේ නිල් කොලේක ලියල පර්ස් එකට ඔබාගත්ත.