Monday, April 28, 2014

විරහවේ උත්පත්තිය

හෙට හරිම කාලකණ්ණි උපන්දින සැමරුමක් තියෙන දවසක් ජුලියා. අවුරුදු හතරක් තිස්සෙ ලබපු හොඳම උපන්දින තෑගි අහිමි සැමරුමක් හෙට හිත ඇතුලෙන් සැමරෙන්නට නියමිතයි. හැම සැමරුමක්ම අත්පුඩි ගහල ඉවර නොවෙන විත්තිය කියල දීපු හෙට සැමරෙන්නට නියමිත උපන්දිනය උඹේ වටිනාකම වැඩි කරනව ජුලියා. මේ කතාව මීට කලිං ලියන්න හිතං හිටියෙ වඩා ප්‍රබන්ධනාත්මක වෙන්න ඕන නිසයි. ඒත් මාස හයක් පරක්කුවෙලා ඒ ගැනම ලියද්දි ඊට පෞද්ගලික අත්දැකීම් එකතුවෙයි කියල හිතුවෙ නැහැ ජුලියා. විරහව හිමි අහිමි ප්‍රශ්නයක්.


අහිමි වීම් එකදිගට එද්දි මිනිහෙක්ට ඒ කාලය මහ අසුබ කාලයක් කියල හිතෙනව. ඒක වැරදියි. මං ඒක වැරදියි කියල හොයාගන්නෙත් උඹෙන්. ඒ උඹේ සුන්දර උස්නෙ මට වදින්නෙ මගේ ජීවිතේට වැඩිපුරම ප්‍රශ්න තිබ්බ කාලෙ නිසා. ඒ නිසා ඒ කාලෙ මට අසුබ නැහැ. මේ වෙද්දි මට මහ ගොඩක් ප්‍රශ්න නැතත් එහා පැත්ත හිස්වෙලා මැවිච්ච බරපතල අහිමි වීම දරන්න අමාරුයි. මීට කළිං ඒව වගේම මේකත් උඹේම නිෂ්පාදනයක් ජුලියා. අධ්‍යක්ෂක මම වුනත් මට මගේ විදියට චිත්‍රපටය අවසන් කරන්න ඉඩක් නැහැ.



උත්පත්ති මූලය උඹ කියල දැනදැනත් මං මේ විරහවට ආදරේ කරන්න හුරුවෙලා. ඒ උඹට වෛර කරන්න
හිතට අමාරු නිසා. කොහොම කලත් හිතට මට වඩා කෙළෙහි ගුණේ තියෙනව. හිතට හිතෙන්නෙත් උඹ නිසා. ඒක මං වගේම උඹත් දන්නව. මේ උපන් දිනේට මට සුබ පතන්න උඹේ හිතට අමාරු දැනේවි. එනිසයි මේ කෙටි සටහන. හැබැයි එකක්. හැමදාම වගේ යාළුවො එක්ක අරක්කු ටිකක් බීල ගෙවුනත් හෙට උපන්දිනේ හරිම වෙනස්. ඒ කොහේ වැටිල හිටියත් මට සනීපම මගේ හොඳම කොට්ටෙ උඹේ උකුල නිසා. ඒක සයිමනුත් ගෑනිට කිව්ව වගේ "මං රජෙක්. මට අන්තඃපුරේ කොච්චර ගෑනු හිටියත් අගරැජින උඹ".ඒකට මගෙනුත් කෑල්ලත් එකතුවෙනව. ඒ අග රැජින නැති වුනා කියල ඊළඟ කෙනා එතනට මාරුවෙන්නෙ නැහැ. අග රැජින එනකංම එතන හිස්ව තියෙනව. මං යනව සමරන්න. උඹට ජය!

1 comment:

  1. :(
    සුභ උපන්දිනයක් වේවා, මචන්!

    ReplyDelete